ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස මිල ගණන් පහත වැටුණද, රටේ පවතින නිවාස ලබාගැනීමේ නොහැකියාව පිළිබඳ අර්බුදයට එය ක්ෂණික විසඳුමක් නොවන බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥ Sally Auld සඳහන් කරනවා. සෙනෙට් කමිටුවක් හමුවේ අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ මෙම ගැටලුව විසඳීමට පරම්පරාවක පමණ දීර්ඝ කාලයක් ගතවනු ඇති බවයි.

වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති අඩු උද්ධමනය, මූල්‍ය ලිහිල් කිරීම්, ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම සහ පුහුණු ශ්‍රමික හිඟය වැනි කරුණු රැසක් මෙම අර්බුදයට හේතු වී ඇති බවයි Westpac ප්‍රධාන ආර්ථික විශේෂඥ Luci Ellis ද සෙනෙට් කමිටුව හමුවේ ප්‍රකාශ කළේ. ඉදිකිරීම් සඳහා අනුමැතිය ලැබුණද ඉහළ යන පිරිවැය හමුවේ ව්‍යාපෘති අතරමග නතරවීම ද මෙහිදී දැඩි ලෙස සාකච්ඡාවට ලක්වුණා.

නිවාස සැපයුම දීර්ඝකාලීනව ඉහළ නැංවීම මෙන්ම රජයේ බදු සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් හරහා පමණක්ම මෙම දැවැන්ත ආර්ථික සහ සමාජයීය අභියෝගයට විසඳුම් සෙවිය හැකි බවයි ආර්ථික විද්‍යාඥයින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.