සැකකටයුතු ලෙස ගිණුම්වලට පිවිසීමට දැරූ උත්සාහයන් හේතුවෙන්, ඕස්ට්‍රේලියානුවන් රැසකගේ myGov ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට (temporarily locked) Services Australia ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙලෙස ගිණුම්වලට පිවිසීමට නොහැකි වූ පුද්ගලයන්ට ඒ පිළිබඳව දැනුවත් කරමින් SMS සහ Email පණිවුඩ ලැබී ඇති අතර, මෙය කිසිසේත්ම myGov පද්ධතියේ ආරක්ෂාව බිඳවැටීමක් (hack වීමක්) නොවන බවත්, පද්ධතියේ ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි ලෙස ක්‍රියාත්මක වීම නිසා සිදු වූවක් බවත් Services Australia ආයතනය පවසනවා.

Services Australia හි සාමාන්‍යාධිකාරී වන Hank Jongen ප්‍රකාශ කළේ, වෙනත් දත්ත සොරාගැනීම් හරහා පිටතට ගිය Email සහ Password සංකලනයන් භාවිත කරමින් ජාවාරම්කරුවන් මෙම ගිණුම්වලට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි. මෙලෙස සැකකටයුතු ලෙස අසාර්ථක උත්සාහයන් කිහිපයක් සිදු වූ විට, පද්ධතියේ ඇති ස්වයංක්‍රීය ආරක්ෂිත ක්‍රමවේද මගින් අදාළ ගිණුම ආරක්ෂා කරගැනීම සඳහා එය තාවකාලිකව lock කරනු ලබනවා.

මෙසේ ගිණුම් තාවකාලිකව අත්හිටුවනු ලැබූ පුද්ගලයන්ට නැවත තම ගිණුම් සක්‍රීය කරගැනීමට නම්, Services Australia වෙතින් ලැබුණු පණිවුඩයේ ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කළ යුතුයි. මේ සඳහා නිල myGov App එක හරහා හෝ වෙබ් බ්‍රවුසරයේ my.gov.au ලෙස ඍජුවම සටහන් කර ගිණුමට පිවිසිය හැකි බවත්, myGov ආයතනය කිසිවිටෙකත් ඍජුව Sign in විය හැකි Link එකක් සහිත Email හෝ SMS පණිවුඩ එවන්නේ නැති බැවින් phishing වංචාවලින් ආරක්ෂා වන ලෙසත් දැනුම් දෙනවා. එමෙන්ම නැවත ගිණුමට පිවිසුණු පසු Digital ID හෝ passkeys වැනි වඩාත් ආරක්ෂිත ක්‍රමවේදයන් සක්‍රීය කරගන්නා ලෙසද පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.