Thailand සිට Melbourne ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක තිබී Methadone පෙති 2,500ක් පමණ සොයාගැනීමත් සමඟ 48 හැවිරිදි Geelong ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Australian Border Force නිලධාරීන් විසින් සිදුකළ X-ray පරීක්ෂාවකදී කිලෝග්‍රෑම් 9ක් බරැති මෙම ඖෂධ තොගය ප්ලාස්ටික් බෑග් 5ක අසුරා තිබියදී හමු වී ඇති අතර, මෙය වාණිජ මට්ටමේ සීමාව මෙන් පස්ගුණයකට ආසන්න ප්‍රමාණයක් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඕස්ට්‍රේලියානු නීතියට අනුව මෙවැනි පාලිත ඖෂධ නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන ඒම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකි අතර, අදාළ සැකකරු Melbourne මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.