ඕස්ට්‍රේලියාවේ පාසල් තුළ ගණිතය සහ ඉංග්‍රීසි වැනි සාමාන්‍ය විෂයන් මෙන්ම 'මානසික සුවතාවය' (Mental Fitness) පිළිබඳ අධ්‍යාපනය ලබාදීමද නිත්‍ය විෂයක් බවට පත්කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.
Gotcha4Life සංවිධානයේ නිර්මාතෘ Gus Worland පෙන්වා දෙන්නේ, දරුවන්ගේ ජීවිතයේ මුහුණදීමට සිදුවන විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා කුඩා අවධියේ සිටම මෙම මානසික ශක්තිය වර්ධනය කිරීම අතිශය වැදගත් බවයි.
වයස අවුරුදු 14 ට පෙර දරුවන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විවිධ මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණදෙන බව අනාවරණය වී ඇති අතර, ඊට පිළියමක් ලෙස දැනටමත් පාසල් 60 කට වැඩි සංඛ්‍යාවක Mentally Fit Schools නමැති තෙවසරක වැඩසටහන ක්‍රියාත්මක වනවා. මෙමගින් සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට සහ දෙමාපියන්ටද අවශ්‍ය මානසික පුහුණුව ලබාදීමට කටයුතු කෙරෙනවා.
මෙම වැඩසටහන මගින් ළමුන්ගේ මානසික ගැටලු අවම කිරීමේ සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති අතර, NSW Department of Education සහ NSW Ministry of Health ආයතන එකමුතුව කලාපීය ප්‍රදේශවල පිහිටි පාසල් සඳහාද මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.



