Melbourne නගරයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරු මාලාවකින් පසු, සොරකම් කරන ලද වාහනයක් පදවාගෙන ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Melton ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මෙම පුද්ගලයා සොරකම් කරන ලද Subaru වර්ගයේ මෝටර් රථයක් මාර්ගයේ වැරදි පසින් පදවාගෙන ගොස් Punt මාර්ගය සහ Boulton Parade අසලදී වෙනත් වාහන දෙකක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරෙන් පසු ඔහු එම රථයෙන් බැස, තමා ගැටුණු අනෙක් රථය වූ Mustang රථයට ගොඩවී එය පැහැරගෙන තිබෙනවා. ඒ වන විට එම රථයේ රියදුරු එහි සිට නොමැති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නැහැ.

පසුව ඔහු එම Mustang රථය අධික වේගයෙන් East Melbourne හි Barassi Way දෙසට පදවාගෙන ගොස් Range Rover සහ Toyota Camry යන රථවල මුහුණට මුහුණ ගැටීමෙන් බරපතල අනතුරක් සිදුකරගෙන තිබෙනවා. එම ගැටීමත් සමග ඔහු රථයෙන් විසිවී ගොස් ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්. Range Rover රථය පැදවූ කාන්තාවගේ අතකට තුවාල සිදුවී රෝහල්ගත කර ඇති අතර, අනෙක් රථයේ රියදුරාට හානියක් සිදුවී නැහැ.

තොරතුරු අනාවරණය කරගැනීම සඳහා Brunton Avenue මාර්ගය තාවකාලිකව වසා දමා පොලිස් පරීක්ෂණ පැවැත්වුණා. මෙයට පෙර මෙම පුද්ගලයා පදවාගෙන ආ Subaru රථය පසුගිය අගෝස්තු 20 වනදා Glen Iris ප්‍රදේශයෙන් සොරකම් කරන ලද්දක් බවත්, එහි ව්‍යාජ අංක තහඩු යොදා තිබූ බවත් අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු හෝ Dash-cam දර්ශන පවතින්නේ නම් Crime Stoppers වෙත ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.