Melbourne නගරයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයට සහනයක් ලෙස,  උතුරු-බටහිර මායිමේ Melton East නමින් අලුත් උපනගරයක් ඉදිකිරීමට වික්ටෝරියානු රජය තීරණය කර තිබෙනවා. CBD හි සිට  35km ක් පමණ දුරින් පිහිටි හෙක්ටයාර් 1005 ක භූමි ප්‍රදේශයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.

2051 වන විට Melbourne හි ජනගහනය මිලියන නවය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඊට සූදානම් වීමක් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා. Melton East උපනගරය තුළ 36,000 ක පමණ ජනගහනයකට පදිංචි විය හැකි අතර, නිවාස 12,000 ක්, පාසල් හතක්, උද්‍යාන සහ රක්ෂිත ප්‍රදේශ ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම බාලදක්ෂ සහ ප්‍රජා ශාලා, පාපැදි සහ පදික වේදිකා, ප්‍රධාන මාර්ග තුනක් සහ පාලම් පහක්ද මීට ඇතුළත් වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැලසුම් අමාත්‍ය Sonya Kilkenny සඳහන් කළේ, පවතින නිවාස අර්බුදයට විසඳුමක් ලෙස මෙම Melton East සහ Merrifield North යන නව ප්‍රදේශ දියුණු කිරීම හරහා ජනතාවට ජීවත්වීමට සහ රැකියාවල නිරතවීමට හොඳ පරිසරයක් නිර්මාණය වන බවයි. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය ඉදිරි වසර 20 ත් 30 ත් අතර කාලය තුළ සම්පූර්ණයෙන්ම නිමකිරීමට නියමිතයි.