ආගමික උත්සව සඳහා ආරක්ෂාව සැපයීමට පවතින මුල්‍ය දුෂ්කරතා හමුවේ, ඊට මධ්‍යම රජයේ මූල්‍ය සහාය ලබා දෙන ලෙස Melbourne හි නගරාධිපති වන Nicholas Reece ඉල්ලීමක් කර තිබෙනවා.

විනාශකාරී ලෙස Jewish ජාතිකයන්ගේ ආගමික ස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් සහ යුදෙව් විරෝධී සිදුවීම් ඉහළ යාම පදනම් කරගනිමින්, රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියා.

Melbourne යනු ඕස්ට්‍රේලියාවේ වැඩිම Jewish ජනගහනයක් වෙසෙන නගරය බව පෙන්වා දුන් නගරාධිපති, පවතින සංකීර්ණ භූ-දේශපාලනික ගැටලු හමුවේ Hanukkah, Ramadan සහ Diwali වැනි ආගමික සහ බහුසංස්කෘතික උත්සව සඳහා අමතර ආරක්ෂාවක් යෙදවීමට පළාත් පාලන ආයතනවලට සිදු වී ඇති බව සඳහන් කළා. නමුත් බොහෝ පළාත් පාලන ආයතන මුල්‍ය අර්බුදයක පසුවන බැවින් මෙම ආරක්ෂක වියදම් දැරීමට නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම පසුගිය වසර දෙක තුළ යුදෙව් විරෝධී විනාශකාරී පෝස්ටර් සහ ස්ටිකර් අධික ප්‍රමාණයක් Melbourne නගරයෙන් ඉවත් කිරීමට සිදු වූ බවත්, එවැනි දෑ පැයක් ඇතුළත ඉවත් කිරීමට විශේෂ ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.