Melbourne හි Melton ප්‍රදේශයේ Alexander Street හි පිහිටි වෙළඳසැලකට ගිනි තැබීමට ගිය පුද්ගලයෙකු, එම ගින්නටම හසුවී බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද අලුයම 3.00 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, CCTV දර්ශනවල දැක්වෙන්නේ Ute රථයකින් පැමිණි පිරිසක් ඉන්ධන යොදා වෙළඳසැලට ගිනි තැබීමට උත්සාහ කිරීමේදී හදිසියේම හටගත් විශාල ගිනිජාලාවකට ඔවුන් හසුවන ආකාරයයි.

සිද්ධියෙන් දැඩි ලෙස පිළිසුම් තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයෙකු Alfred Hospital වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා සෙවීම සඳහා Victoria පොලිස් පරීක්ෂණ පවත්වනවා. ඔවුන්ගෙන් එක් අයෙකුගේ දෑත් සහ පාදවලටද තදබල ලෙස පිළිසුම් තුවාල සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙය පූර්ව සංවිධානය කර සිදුකළ ප්‍රහාරයක් බවට සැකකෙරෙන අතර, අදාළ Ute රථය Hopetoun Park හි Western Highway හි දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

Arson and Explosives Squad හි Detective Inspector Chris Murray සඳහන් කළේ මෙලෙස සිතාමතා ගිනි තැබීම් සිදුකිරීම අතිශය අවදානම් සහගත බවත්, තුවාල ලබා ඇත්තේ අහිංසක මහජනතාවගෙන් අයෙකු නොවීම පිළිබඳව සැනසිය හැකි බවත්ය.