Melbourne හි ගොඩනැගිල්ලක් ගිලා බැසීමේ දැවැන්ත අවදානමකට ලක්වීම හේතුවෙන්, එහි නිවාස හිමියන්ට එක් අයෙකුට ඩොලර් 374,000කට අධික අමතර මුදලක් (Special levy) ගෙවීමට සිදුවීමේ පුවතක් වාර්තා වනවා.
Melbourne CBD සිට 8km ක් පමණ බටහිරින් පිහිටි Maidstone හි Eucalyptus Drive හි පිහිටි, 2011 වසරේදී ඉදිකරන ලද මෙම මහල් නිවාස සංකීර්ණයේ අඩිතාලම ගිලා බැසීමේ බරපතල ගැටලුවක් මතු වී ඇත්තේ 2022 වසරේදීයි. එම දෝෂයන් අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් මිලියන 17 සිට 20 දක්වා අතිදැවැන්ත මුදලක් වැයවන බවට ගණන් බලා තිබෙනවා.
මේ හේතුවෙන් එහි පදිංචි නිවාස හිමියන් 60 දෙනෙකුට වසර 10 ක කාලයක් පුරා මසකට ඩොලර් 2,300 සිට 3,500 දක්වා අමතර වාරිකයක් ගෙවීමට සිදුවන අතර, මෙය ඔවුන්ගේ නිවාස සඳහා ගත් මුලික ණය මුදල මෙන් දෙගුණයක අමතර බරක්.
මෙම ගොඩනැගිල්ල අසල පිහිටි තවත් නිවාස සංකීර්ණයක්ද මෙලෙසම ගිලා බැසීම නිසා එහි පදිංචිකරුවන් හදිසියේ ඉවත් කිරීමට කටයුතු කර තිබූ අතර, පවතින තත්ත්වය හමුවේ මෙම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ද දැඩි මානසික සහ ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනවා.



