Melbourne නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථාන ඇතුළු පොදු ස්ථානවල, තරුණයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් විසින් පිහි ඇතුළු මාරාන්තික ආයුධ රහසිගතව සඟවා තබන බවට Victoria පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
වසරකට පෙර Victoria ප්‍රාන්තය තුළ Machete වර්ගයේ පිහි තහනම් කිරීමත් සමඟ, පොලිසියට හසු නොවී අපරාධ සිදුකිරීම සඳහා මෙලෙස පොදු ස්ථානවල ආයුධ සඟවා තැබීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. Melbourne, Altona, Werribee, Morwell සහ Melbourne CBD යන ප්‍රදේශවල සිදු වූ දරුණු පිහි ඇනුම් සහ ප්‍රහාර මාලාවකින් පසුව සිදුකළ විමර්ශනවලදී මේ පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට හැකි වන පරිදි "Jack's Law" නමැති විශේෂ බලතල නීතියක් හඳුන්වා දීමටද රජය තීරණය කර තිබෙනවා. පසුගිය වසරේ පමණක් Victoria පොලීසිය විසින් මෙලෙස සඟවා තිබූ Machete සහ Knife 15,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙවැනි සඟවන ලද ආයුධ පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



