Melbourne හි නගරාසන්න ප්‍රදේශවල කසළ පුළුස්සා බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘති සඳහා දැඩි නීතිරීති සහ පාලනයක් පනවන ලෙස ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවක් මගින් යෝජනා 33 ක් ඉදිරිපත් කර ඇති අතර, විමෝචනය වන වායු නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, ව්‍යාපෘති සඳහා අනුමැතිය දීමේ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කිරීම සහ ප්‍රදේශයේ මාර්ග අලුත්වැඩියාවට එම සමාගම්වලින් දායකත්වයක් ලබා ගැනීම ඊට ඇතුළත්.

Sunbury, Wollert, Laverton සහ Dandenong යන ප්‍රදේශවල මෙවැනි ව්‍යාපෘති 11 ක් සඳහා පූර්ණ අනුමැතිය හිමිවීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම කසළ දහන යන්ත්‍ර නිවාස ආසන්නයේ පිහිටුවීම නිසා ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන බලපෑම, පරිසර දූෂණය සහ බර වාහන ධාවනය වැඩිවීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි කනස්සල්ල පළ කරනවා.

පාර්ලිමේන්තු කාරක සභාව පෙන්වා දෙන්නේ කසළවලින් බලශක්තිය නිපදවීම අවසාන විකල්පය කරගත යුතු අතර, ඊට පෙර ප්‍රතිචක්‍රීකරණය සහ කසළ අවම කිරීමට රජය වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.