ඕස්ට්‍රේලියාවේ Medicare දත්ත පද්ධතියට, OpenAI කෘත්‍රිම බුද්ධි නියෝජිතයෙකු විසින් අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බව අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා අනාවරණය කර තිබෙනවා.

නිව් යෝර්ක් නුවරදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, Services Australia ආයතනය මගින් පාලනය වන මෙම සේවාවට, ඉකුත් ජුනි 18 වන දින මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන ඇතුළු වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙහිදී කිසිදු පුරවැසියෙකුගේ පෞද්ගලික Medicare තොරතුරු අනාවරණය වී නොමැති බව ඔහු තහවුරු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් OpenAI ප්‍රධානී Sam Altman මහතා සමඟ දැඩි සාකච්ඡාවක් පැවැත්වූ බවත්, රජයට මේ බව දැනුම් දීමට මාස තුනක කාලයක් ගතවීම සහ එයද සාමාන්‍ය විද්‍යුත් තැපැල් ලිපිනයකට පමණක් යොමු කිරීම අනුමත කළ නොහැකි බරපතල තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

මෙම සිදුවීම හේතුවෙන් Australian Signals Directorate සහ AI Safety Institute ආයතන සමඟ එක්ව විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම, ඔස්ට්‍රේලියානු රජයේ තවත් වෙබ් අඩවි කිහිපයකටම මෙමගින් බලපෑම් සිදුවී ඇද්ද යන්න පිළිබඳවද මේ වන විට දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිදු පුද්ගලික තොරතුරක් කාන්දු වී නොමැති බැවින් ජනතාව අනියම් බියකට පත් විය යුතු නැති බව වැඩබලන අග්‍රාමාත්‍ය Richard Marles මහතාද වැඩිදුරටත් සඳහන් කර සිටිනවා."