South Australia හි Queen Elizabeth Hospital හි හදිසි අංශයේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකුට සරම්ප (Measles) රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමග, මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රබල සරම්ප අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
South Australia සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ, Brighton Secondary School ආශ්‍රිතව සිදුවන සරම්ප ව්‍යාප්තියට සම්බන්ධ අවුරුදු 40ක පමණ පුද්ගලයෙකුටද සරම්ප වැළඳී ඇති බවයි.විදේශගතව සිට පැමිණි අයෙකුගෙන් ආරම්භ වූ මෙම සරම්ප ව්‍යාප්තියෙන් දැනට වාර්තා වන සමස්ත සරම්ප රෝගීන් ගණන 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අදාළ රෝගියා Queen Elizabeth Hospital හි හදිසි අංශයේ පැය 24කට වැඩි කාලයක් රැඳී සිට ඇති අතර, ඊට අමතරව Fulham Gardens හි ඖෂධ සැලක්, Westfield Marion, Harbour Town සහ Morphett Vale Stadium ඇතුළු ස්ථාන රැසක්ම රෝගයට නිරාවරණය වූ ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.
South Australia ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනී Nicola Spurrier සඳහන් කරන්නේ, අදාළ ස්ථානවල ගැවසුණු පුද්ගලයින්ට උණ, කැස්ස, හෙම්බිරිස්සාව සහ සමේ ලප දැමීම වැනි ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි. එමෙන්ම 1966න් පසු උපත ලැබූ අය තමන්ගේ සරම්ප එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්දැයි තහවුරු කරගන්නා ලෙසද වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



