ගංගා ජල කළමනාකරණය සම්බන්ධයෙන් Murray-Darling Basin Authority (MDBA) ආයතනයට එරෙහිව පවරා තිබූ ඩොලර් බිලියන 1.5ක දැවැන්ත සමූහ නඩුවේ තීන්දුව එම ආයතනයට පක්ෂව ලබාදීමට New South Wales ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

Southern NSW සහ Northern Victoria කලාපවල ගොවීන් 28,000ක් නියෝජනය කරමින් මෙම නඩුව පවරා තිබුණේ, MDBA ආයතනයේ වැරදි ජල කළමනාකරණය නිසා තමන්ට දැඩි මූල්‍ය අලාභයක් සිදු වූ බව පවසමින්.

කෙසේ වෙතත්, නඩුව විභාග කළ Justice Tim Faulkner තීන්දු කළේ, එක් පිරිසකට පමණක් විශේෂ ආර්ථික වාසි සැලසෙන පරිදි කටයුතු කිරීමට MDBA ආයතනය බැඳී නැති බවයි. එමෙන්ම Murray River පද්ධතිය සංකීර්ණ සහ වෙනස් වන සුළු එකක් බැවින්, පොදු ජනතාවගේ යහපත උදෙසා අදාළ ආයතනය ගත් තීරණවල වරදක් නොමැති බවද අධිකරණය පෙන්වා දුන්නා.

මේ අතර, තීන්දුව පිළිබඳව කණගාටුව පළ කරන බවත්, ඉදිරියේදී අභියාචනා කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව අවධානය යොමු කරන බවත් Southern Riverina Irrigators සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.