Hawthorn සහ Collingwood කණ්ඩායම් අතර MCG ක්‍රීඩාංගණයේ පැවැති AFL තරගය අතරතුර, තරග නරඹන්නෙකුට අමානුෂික ලෙස පහරදුන් 20 හැවිරිදි තරුණයෙකු Victoria පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරගයේ පළමු අර්ධය අවසන් වීමට ආසන්නව තිබියදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඇති කරගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු මෙලෙස නරඹන්නාගේ හිසට සහ මුහුණට දිගින් දිගටම පහරදී ඇති බවයි වාර්තා වන්නේ. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරුට හෙදියක් විසින් ප්‍රථමාධාර ලබාදී තිබෙනවා.

සිදුවීමත් සමඟ Shane Warne Stand හි සිටි ආරක්ෂක අංශ සහ පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකාර තරුණයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. Oliver Thomas නමැති මෙම 20 හැවිරිදි සැකකරුට එරෙහිව පොලිසියට අකීකරු වීම, ප්‍රචණ්ඩ ලෙස හැසිරීම සහ Cocaine ළඟ තබාගැනීම ඇතුළු චෝදනා රැසක් යටතේ නඩු පවරා ඇති අතර, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.