දේශගුණික විපර්යාස සහ මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ Torres Strait හි පිහිටි Masig දූපත දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ 2050 වන විට මෙම පහත් බිම් සහිත දූපත මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත්විය හැකි බවයි.
දූපතේ වෙරළ තීරය ඛාදනය වීම නිසා පෞරාණික සොහොන් බිම්, ක්‍රීඩාංගණ සහ ජනාවාස මුහුදට බිලිවෙමින් පවතින අතර, දේශීය Masigalgal වැසියන් සිය පාරම්පරික උරුමය රැකගැනීම සඳහා සටනක නිරත වෙනවා. ඒ අනුව 2025 වසරේදී මෙම ප්‍රදේශය ආවරණය වන පරිදි Masigilgal Indigenous Protected Area (IPA) නම් ආරක්ෂිත කලාපය ස්ථාපිත කර තිබෙනවා.
දේශීය වැසියන් සිය පාරම්පරික දැනුම සහ නවීන විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින්, වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා 'Urabi' හෙවත් පොල් පැළ සිටුවීම සහ පාරිසරික පද්ධති සුරැකීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දේශගුණික විපර්යාසවලට එරෙහිව ගෝලීය වශයෙන් කාබන් විමෝචනය අවම නොකළහොත්, මෙම දූපතත් සමඟ ඔවුන්ගේ සංස්කෘතියද සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින බවයි දේශීය වැසියන් පෙන්වා දෙන්නේ.



