Labor පක්ෂයේ ඩොලර් මිලියන 560 ක ප්‍රජා ප්‍රතිපාදන ව්‍යාපෘතියෙන් මුදල් ලබාදීමේදී, දේශපාලන වාසි තකා තමන්ට හිතවත් ආසනවලට පමණක් අරමුදල් බෙදාහැරීමේ "Pork-barrelling" ක්‍රියාවලියක නිරත වී ඇති බවට චෝදනා එල්ල වෙනවා.

Centre for Public Integrity ආයතනය සිදුකළ පර්යේෂණයකට අනුව, මෙම ප්‍රතිපාදන වැඩසටහන යටතේ වෙන්කළ මුදලින් 75% ක්ම ලැබී ඇත්තේ Labor පක්ෂය නියෝජනය කරන ආසනවලටයි. අගමැති Anthony Albanese ගේ Grayndler ආසනයේ පිහිටි Marrickville Golf Club එකට ඩොලර් මිලියන 6 ක ප්‍රතිපාදන වෙන් කිරීමද දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

කෙසේ වෙතත්, අසුන් 45 කට කිසිදු ප්‍රතිපාදනයක් ලැබී නැති අතර, ඊට විපක්ෂයේ මෙන්ම Labor පක්ෂයේ ඇතැම් සුරක්ෂිත ආසනද ඇතුළත්. මෙම අරමුදල් බෙදාහැරීමේ විනිවිදභාවය සහ අගමැතිවරයාගේ මැදිහත්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස Greens පක්ෂය මේ වන විට සෙනෙට් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන රජය සඳහන් කරන්නේ, අදාළ ප්‍රතිපාදන වෙන්කිරීමේදී සියලු නීතිරීති හා රෙගුලාසි අකුරටම අනුගමනය කර ඇති බවයි.