Queensland හි ඉතාමත් දුර්ලභ ලේ වර්ගයක් හිමි පවුලකට පරීක්ෂණාගාර තුළ නිපදවන රුධිරය හරහා නව බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා.
Brisbane හි දකුණු ප්‍රදේශයේ Logan හි පදිංචි 32 හැවිරිදි Joe Fa'agase, ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන 'Jk null' නම් දුර්ලභ රුධිර ගණයට හිමිකම් කියනවා.
හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා ඔහුගේ රුධිර ඒකක 3ක් මේ වන විට Sydney හි විශේෂ රුධිර බැංකුවක ශීතකරණ තුළ සුරක්ෂිතව තබා තිබෙනවා. Joe ගේ සහෝදරයන් තිදෙනාටත් හිමිවන්නේ මෙම දුර්ලභ රුධිර ගණයමයි.
Pacific Islander ප්‍රජාවෙන් සියයට එකකටත් අඩු පිරිසකට පවතින මෙම රුධිර ගණය පිළිබඳව ඔවුන් මුලින්ම දැනගෙන තිබෙන්නේ, පවුලේ සාමාජිකාවක වන Noa Fa'agase රෝගාතුර වී රුධිරය අවශ්‍ය වූ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවේ රුධිර පාරවිලයන සේවාව වන Lifeblood ආයතනය සතුව මෙම රුධිර වර්ගය නොතිබූ බැවින් Hawaii වලින් පවා රුධිරය ගෙන්වා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
මෙවැනි දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් University of Queensland සහ Lifeblood ආයතනය එක්ව ඩොලර් මිලියන 2.5ක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි අරමුණ වන්නේ පරීක්ෂණාගාර තුළ වැඩි රුධිර සෛල ප්‍රමාණයක් අඩු පිරිවැයකින් නිපදවීමේ ක්‍රමවේදයක් සොයා ගැනීමයි.
Lifeblood පර්යේෂක Becky Griffiths පවසන්නේ දැනටමත් පරීක්ෂණාගාර තුළ රුධිර සෛල නිපදවිය හැකි වුවත්, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
ඒ අනුව ඉදිරි වසර 4 ඇතුළත අඩු පිරිවැයකින් වැඩි රුධිර ප්‍රමාණයක් නිපදවා සායනික පරීක්ෂණ ආරම්භ කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
University of Queensland හි ජීව-වෛද්‍ය ඉංජිනේරු Mark Allenby පවසන්නේ වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වා දීමෙන් මෙම රුධිරය නිපදවීමේ පිරිවැය අඩු කර, අනාගතයේදී රෝගීන්ට එය ලබාගැනීමේ අවස්ථාව සැලසීම තම බලාපොරොත්තුව බවයි.
වෙනත් පුද්ගලයෙකුගෙන් රුධිරය ලබාගැනීමේදී ගැටලු මතුවිය හැකි බැවින් නිරන්තරයෙන් බියෙන් පසුවූ Joe Fa'agase පවසන්නේ මෙම පර්යේෂණ සාර්ථක වුවහොත් තම පවුලට විශාල සහනයක් ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම රුධිරය සාමාන්‍ය රෝගීන් සඳහා භාවිත කිරීමට පෙර ඕස්ට්‍රේලියාවේ Therapeutic Goods Administration ආයතනයේ අනුමැතිය ලබාගැනීමත්, දීර්ඝකාලීන මිනිස් සායනික පරීක්ෂණ සම්පූර්ණ කිරීමත් අවශ්‍ය වනවා.



