ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉතාමත් වැදගත් සුබ ආරංචියක් ලැබී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ‘ජෙට්ස්ටාර්' (Jetstar Airways) ගුවන් සේවය, ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් හෙවත් Direct Flights ආරම්භ කර තිබෙනවා. 2026 අගෝස්තු 25 වනදා සිට, එනම් අද දින සිට ක්‍රියාත්මක වන මෙම නව ගුවන් සේවාව, ජෙට්ස්ටාර් සමාගම ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කලාපයටත් සෘජු ගුවන් ගමන් පවත්වන පළමු අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ. 

මෙම නව සේවාව යටතේ මෙල්බර්න් සහ කොළඹ අතර සතියකට සෘජු ගුවන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙල්බර්න් සිට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා JQ5 ගුවන් යානය: අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දහවල් 12:00 ට මෙල්බර්න් නුවරින් පිටත්ව, එදිනම පස්වරු 5:50 ට කොළඹ වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ. 

කොළඹ සිට මෙල්බර්න් දක්වා JQ6: එම දිනවලම රාත්‍රී 7:50 ට කොළඹින් පිටත්ව, පසුදින පෙරවරු 10:00 ට මෙල්බර්න් වෙත ළඟා වන බවට වැඩිදුරටත් වාර්තා වනවා. 

මෙම ගුවන් වාර සඳහා නවීන මාදිලියේ 'බෝයිං 787 ඩ්‍රීම්ලයිනර්' (Boeing 787 Dreamliner) ගුවන් යානා යොදවා ඇති අතර, වසරකට ආසන්න වශයෙන් ආසන ලක්ෂයකට අධික ප්‍රමාණයක් මගීන් වෙනුවෙන් වෙන් කෙරෙන බවයි එම සමාගම පවසන්නේ.

 

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික පවුල්වල සාමාජිකයන්ට, සිසුන්ට මෙන්ම නිවාඩුවක් සඳහා මව්බිමට යන ඕනෑම අයෙකුට සංක්‍රමණික ගුවන් තොටුපොළක හෙවත් Transit හී රැඳී සිටීමකින් තොරව ඍජුවම ශ්‍රී ලංකාවට යාමට ලැබීම විශාල පහසුවක් වනවා.

 

කෙසේ වෙතත්, ජෙට්ස්ටාර් යනු අඩු පිරිවැය හෙවත් Low-Cost ගුවන් සේවයක් බැවින් ප්‍රවේශපත්‍ර ගාස්තුව පරීක්ෂා කිරීමේදී checked-in baggage, ආහාර වේල් සහ seat selection වැනි අමතර පහසුකම් ඒ සඳහා ඇතුළත්ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සංචාරක උපදේශකයින් පෙන්වා දෙනවා.