New South Wales හි පාසල් සිසුන් අධ්‍යයන කටයුතු සඳහා කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම පාලනය කිරීම සඳහා HSC පරීක්ෂණ රාමුවේ විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට NSW ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අඟහරුවාදා නිවේදනය කරන ලද මෙම නව නීතිරීතිවලට අනුව, සිසුන්ට නිවසට ලබාදෙන පැවරුම් සංඛ්‍යාව සීමා කෙරෙනු ඇති. ඒ අනුව, මින් ඉදිරියට පාසල් මට්ටමේ ඇගයීම් ලකුණු ප්‍රමාණයෙන් උපරිම 15% ක් හෙවත් සමස්ත HSC ප්‍රතිඵලයෙන් 7.5% ක අගයක් ලබාගත හැක්කේ නිවසේදී සිදුකරන පැවරුමකට පමණයි. අනෙකුත් සියලුම පරීක්ෂණ පන්ති කාමරය තුළදීම පැවැත්වීමට පාසල්වලට උපදෙස් දී තිබෙනවා.

NSW හි අධ්‍යාපන අමාත්‍ය Prue Car සඳහන් කළේ, AI තාක්ෂණය නිසා සිසුන්ගේ ස්වයං චින්තනය, නිර්මාණශීලීත්වය සහ කැපවීම අඩුවෙමින් පවතින බවයි. සිසුන් සංකීර්ණ පැවරුම් සඳහා AI තාක්ෂණයෙන් පහසු ක්‍රම අනුගමනය කිරීම මගින් දීර්ඝකාලීනව ඔවුන්ගේ දැනුම සහ අධ්‍යාපනික වර්ධනය අඩාල වන බවද ක්ෂේත්‍රයේ නිලධාරීන් පෙන්වා දෙනවා.