නිවාස ණය සඳහා ඉල්ලුම් කිරීමේදී බැංකු විසින් සැලකිල්ලට ගන්නා ඇතැම් ගනුදෙනු හේතුවෙන් ණය අනුමත වීම අභියෝගයක් විය හැකි බවට ඕස්ට්‍රේලියාවේ මූල්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා.

Nectar Mortgages හි නිවාස ණය උපදේශක James Marsh පෙන්වා දෙන්නේ Buy Now, Pay Later ක්‍රමවේදයට භාණ්ඩ මිලදී ගැනීම, පඩිය පූර්වයෙන් ලබාගන්නා ණය (Payday Loans) සහ විශේෂයෙන්ම ඔට්ටු ඇල්ලීම් හා සූදුව සම්බන්ධ ගනුදෙනු (Gambling Transactions) බැංකු මගින් දැඩි ලෙස නිරීක්ෂණය කරන බවයි. ණය ඉල්ලුම් පත්‍රයේ හෙළි නොකරන මෙවැනි ගනුදෙනු මගින් ණය ලබාගැනීමේ හැකියාව සීමා විය හැකි බව ඔහු සඳහන් කරනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් පොලී අනුපාත 4.35% දක්වා ඉහළ නැංවීමත් සමඟ ජනතාවගේ ණය ලබාගැනීමේ ධාරිතාව පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය දත්තවලට අනුව නව නිවාස ණය ප්‍රමාණය පසුගිය ත්‍රෛමාසිකයේදී ඩොලර් බිලියන 5.4 කින් පහත වැටී තිබෙනවා.

ඉහළ යන පොලී අනුපාත සහ රජයේ බදු සංශෝධන හමුවේ ආයෝජකයන් පසුබැසීම නිසා ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ යම් මන්දගාමීත්වයක් මතු වී ඇති බවයි මූල්‍ය විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.