ඕස්ට්‍රේලියාවේ ඖෂධ සහ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාව නිසා සිදුවන මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වයස්ගත පුද්ගලයින් වන බව පෙන්වා දෙමින් Penington Institute ආයතනය විසින් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

වාර්ෂික අධිමාත්‍රා වාර්තාවට අනුව, 2024 වසරේදී පමණක් මෙලෙස සිදු වූ මරණ 2,596 න් 80% කට ආසන්න ප්‍රමාණයක් නොසිතූ ලෙස සිදු වූ අධිමාත්‍රා මරණයි. වයස අවුරුදු 50 ත් 59 ත් අතර පිරිස් මෙයට වැඩි වශයෙන් ගොදුරු වී ඇති අතර, 2008 වසරේ සිට මේ දක්වා මාර්ග අනතුරුවලට වඩා වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය අධිමාත්‍රාව නිසා මියගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මෙලෙස අධිමාත්‍රාවට ගොදුරු වන්නන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් නොලැබෙන බවත්, මත්ද්‍රව්‍ය මර්දන ප්‍රතිපත්ති සහ ප්‍රතිකාර සේවා සඳහා නිසි ලෙස ප්‍රතිපාදන වෙන් නොකිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.