Sydney හි Greenacre ප්‍රදේශය දෙසට ධාවනය වූ බස් රථයක් තුළදී 13 හැවිරිදි ඉස්ලාමීය පාසල් ශිෂ්‍යාවකට පුද්ගලයෙකු විසින් ජාතිවාදී සහ අපහාසාත්මක වචන භාවිත කරමින් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් NSW පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Janna නමැති මෙම පාසල් ශිෂ්‍යාව, බස් රථයේ සිටි වෙනත් බාලවයස්කාර දැරියකගේ ඡායාරූප ගැනීමට තැත් කළ පුද්ගලයෙකුට එරෙහිව කථා කිරීමත් සමග මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා ඇයට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබෙනවා. බස් රථයේ සිටි අනෙකුත් පාසල් ළමයින් මෙම ජාතිවාදී ප්‍රහාරයට එරෙහිව කෑගසා ඇති නමුත්, වැඩිහිටි මගීන් හෝ බස් රථයේ රියදුරු ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන NSW පොලීසිය, අදාළ පුද්ගලයා Strathfield හි Liverpool මාර්ගය අසලින් බැස ගොස් ඇති බව පවසන අතර, ඔහු පිළිබඳ තොරතුරු දන්නේ නම් Crime Stoppers වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Islamophobia Register Australia ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවාවන් තුළදී ඉස්ලාමීය කාන්තාවන්ට සහ දැරියන්ට එල්ල වන මෙවැනි ජාතිවාදී හිරිහැර කිරීම් සහ අපහාස කිරීම් හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.