මේ වසරේ පැවැති උණුසුම් සහ තෙතමනය සහිත ශීත සෘතුවෙන් පසුව ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ජනතාවට දැඩි පීනස තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.

ගස් සහ තණකොළ පරාග හේතුවෙන් ඇතිවන මෙම ආසාත්මිකතා තත්ත්වය ඔක්තෝබර් 1 වනදා ආරම්භ වන grass pollen සෘතුවත් සමඟ වඩාත් දැඩි විය හැකි බවයි Melbourne Pollen ආයතනය පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම Victoria හි බටහිර සහ මධ්‍යම ප්‍රදේශවලට මෙයින් වැඩි බලපෑමක් එල්ල විය හැකි අතර, Gippsland ප්‍රදේශයට සාපේක්ෂව අඩු බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම, උණුසුම් සුළං මගින් මෙම පරාග Melbourne නගරය දෙසට ගසාගෙන ඒම නිසා බටහිර ප්‍රදේශයේ ජනතාවට වැඩි බලපෑමක් එල්ල වන බවත්, මෙය Thunderstorm asthma නමැති ශ්වසන අබාධ තත්ත්වයට පවා හේතු විය හැකි බවත් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. මීට පෙර 2016 වසරේදී Melbourne හි ඇතිවූ මෙවැනි වාතාවරණයකින් පුද්ගලයන් 9 දෙනෙකු මියගිය අතර දහස් ගණනක් රෝගී වුණා.

මේ හේතුවෙන් කිවිසුම් යාම, කැස්ස සහ ඇස් කැසීම වැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් කඩිනමින් antihistamine හෝ නාසයට විදින ඖෂධ භාවිත කර සූදානම් වන ලෙසත්, වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් බලධාරීන් දැනුම් දෙනවා.