Queensland හි පොලිසිය විසින් පරීක්‍ෂා කරන ලද පුද්ගලයන්ගෙන් 10% කට වැඩි පිරිසක් First Nations ජනතාව වන බවට වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ මෙම සෙවීම් සිදු කරනු ලබන්නේ අවදානම් සහිත ස්ථාන පදනම් කරගෙන මිස ජාතිය හෝ සංස්කෘතිය පදනම් කරගෙන නොවන බවයි.

පසුගිය 2025 ජූලි 18 සිට 2026 ජූනි 30 දක්වා කාලය තුළ Queensland පොලිසිය විසින් පුද්ගලයන් 160,997 දෙනෙකු පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. මෙයින් 11% ක්, එනම් 17,909 දෙනෙකු First Nations ජනතාව ලෙස හඳුනාගෙන ඇති අතර, 49% ක් non-Indigenous පුද්ගලයන් වෙනවා. 39% කගේ තොරතුරු සටහන් වී නැහැ.

2021 ජනලේඛන දත්තවලට අනුව Queensland හි Aboriginal සහ Torres Strait Islander ජනගහනය සමස්තයෙන් 4.6% කි.

මෙම දත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් Aboriginal and Torres Strait Islander Legal Service හි ප්‍රධාන නීති නිලධාරී Greg Shadbolt පවසන්නේ, ජනගහන අනුපාතයට වඩා දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් මෙලෙස පරීක්‍ෂාවට ලක්වීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

එමෙන්ම National Justice Project හි George Newhouse ද ප්‍රකාශ කළේ First Nations ජනතාව මෙලෙස වැඩි වශයෙන් පොලිස් පරීක්‍ෂාවලට ලක්වීම පිළිබඳව බරපතල ගැටලු පවතින බවයි.

Queensland හි "Jack's Law" ලෙස හැඳින්වෙන මෙම නීතිය යටතේ සෙවුම් වරෙන්තුවක් නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල සිටින පුද්ගලයන් පරීක්ෂා කිරීමට පොලිසියට බලතල හිමිවෙනවා.

නව නීති ක්‍රියාත්මක වූ දින සිට පුද්ගලයන් 2,497 දෙනෙකුට එරෙහිව චෝදනා 5,000 ක් පමණ ගොනු කර ඇති අතර ආයුධ 1,270 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Queensland පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම පරීක්‍ෂණ මෙහෙයුම් සිදු කරන්නේ යම් යම් ප්‍රදේශවල සිදුව ඇති අපරාධ වාර්තා සහ ආරක්ෂක තත්ත්වයන් පදනම් කරගෙන මිස, පුද්ගලයන්ගේ ජාතිය හෝ වෙනත් ලක්ෂණ සලකා බලා නොවන බවයි.

එමෙන්ම Queensland හි පොලිස් අමාත්‍ය Dan Purdie පවසන්නේ මහජනතාවගේ සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම නීති ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.