ඕස්ට්‍රේලියානු ආහාර ක්ෂේත්‍රයේ මූලික පදනම වන ගොවි ජනතාව මුහුණ දෙන දැඩි පීඩනය හමුවේ, ඉදිරියේදී එම ක්ෂේත්‍රයේ රැඳී සිටීම සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට ඔවුන්ට සිදුව තිබෙනවා.
Black Dog Institute හි අධීක්ෂණය යටතේ Norco කිරි නිෂ්පාදන සමුපකාරය විසින් සිදුකරන ලද අලුත්ම ජාතික ගොවි යහපැවැත්ම පිළිබඳ වාර්තාවට අනුව, ගොවීන් දහසකට වැඩි පිරිසක් තමන් මුහුණ දෙන අභියෝග හෙළිදරව් කර තිබෙනවා. මූල්‍ය පීඩනය, ශ්‍රම හිඟය, ස්වාභාවික ව්‍යසන සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම වැනි කරුණු නිසා ගොවීන්ගෙන් 40% ක්ම මෙම ක්ෂේත්‍රයෙන් ඉවත්වීමට කල්පනා කරමින් සිටින බව එහි සඳහන්.
මෙම තත්ත්වය ඕස්ට්‍රේලියාවේ දීර්ඝකාලීන ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් මතු කර තිබෙනවා. Norco සමාගමේ ප්‍රධාන විධායක Michael Hampson පෙන්වා දෙන්නේ, රට තුළ පරිභෝජනය කරන ආහාරවලින් 90% ක්ම නිෂ්පාදනය කරන්නේ දේශීය ගොවීන් බවත්, ඔවුන් ක්ෂේත්‍රයෙන් ඉවත්වීම රටට දැඩි බලපෑමක් එල්ල කරන බවත්ය.
මෙම සමීක්ෂණයට එක්වූ ගොවීන්ගෙන් 50% කට වැඩි පිරිසක් මානසික පීඩනයෙන් පෙළෙන බවත්, 91%ක්ම තමන්ට ජනතාවගෙන් නිසි ඇගයීමක් නොලැබෙන බව හැඟෙන බවත් පවසා තිබෙනවා.
වසර 50 කට වැඩි කාලයක් කිරි ගොවිතැනේ නිරත වන Queensland හි Ross Blanch, මෙම තත්ත්වයට සහනයක් ලෙස Farmer to Farmer නමැති නොමිලේ උපදේශන සේවාව ආරම්භ කර තිබෙනවා. ගොවීන් එකිනෙකා අතර කතාබහ කිරීමෙන් මානසික පීඩනය අවම කරගත හැකි බව පවසන ඔහු, නගරවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගම්බද සිටින සිය හිතමිතුරන්ගේ සුවදුක් නිතර විමසා බලන ලෙසයි.



