ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවල ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා, පැය 30කට වඩා වැඩි කාලයක් අඛණ්ඩව නිරීක්ෂණ කටයුතු කළ හැකි ප්‍රබල ඩ්‍රෝන යානා භාවිතයට ගැනීමට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.
විශේෂයෙන්ම මිනිස් ජාවාරම්කරුවන්, නීති විරෝධී ධීවරයන් සහ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය කරන යාත්‍රා හඳුනා ගැනීමට මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදාගැනීමට නියමිතයි. Maritime Border Command සහ දේශසීමා ස්වෛරීත්ව මෙහෙයුම වෙනුවෙන් විසිහතර පැය පුරාම සක්‍රීය සහායක් දීමට මේ හරහා හැකියාව ලැබෙන බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක විශේෂඥයෙකු වන Will Geddes සඳහන් කළේ, 35,000km කට ආසන්න විසල් වෙරළ තීරයක් සහිත ඕස්ට්‍රේලියාව වැනි රටකට මෙවැනි නියමු රහිත යානා යොදාගැනීම ඉතාමත් සාර්ථක සහ ප්‍රායෝගික පියවරක් බවයි.
මේ වන විටත් ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාව විසින් ඩොලර් බිලියන 2.5ක ව්‍යාපෘතියක් යටතේ MQ-4C Triton වර්ගයේ දීර්ඝ කාලීන නිරීක්ෂණ යානා ලබාගනිමින් සිටිනවා. මෙම යානා Northern Territory හි RAAF Base Tindal හි ස්ථානගත කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ South Australia හි RAAF Base Edinburgh හි පිහිටි Number 9 Squadron මගිනුයි.
Border Force හි ගුවන් නිරීක්ෂණ පැය ගණන මෑත කාලයේදී පහත වැටීම හේතුවෙන්, දැනට පවතින නිරීක්ෂණ ගුවන් යානා සහ නාවික යාත්‍රාවලට අමතර ශක්තියක් ලෙස මෙම නව ඩ්‍රෝන යානා ඉදිරියේදී එක් කිරීමට නියමිතයි.



