Melbourne හි Deer Park හි පිහිටි ආසියානු භාණ්ඩ අලෙවිසැලකට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් Victoria පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 11ට ආසන්නව Ballarat මාර්ගයේ පිහිටි Asia Lane Grocery ආයතනයේ ඉදිරිපස දොරට හා වීදුරුවලට හානි කරමින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ වෙළඳසැල තුළ කිසිවෙකුත් සිට නොමැති අතර, ගිනි නිවන හමුදාව විනාඩි පහක් ඇතුළත ගින්න පාලනය කිරීමට සමත් වුණා.

මෙම සිදුවීමට පෙර අසල පිහිටි වෙනත් වෙළඳසැලක් නීති විරෝධී දුම්කොළ අලෙවි කිරීමේ සැකය මත වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණද, එම සිද්ධිය සහ මෙම ගිනි තැබීම අතර සෘජු සම්බන්ධයක් පවතින බවට තවම තහවුරු වී නැහැ. Melbourne නගරයේ පවතින නීති විරෝධී දුම්කොළ වෙළඳාම ආශ්‍රිත ගැටුම් හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ මෙවැනි ගිනි තැබීම් රැසක් වාර්තා වී ඇති අතර, පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.