තායිලන්තයේ Pattaya හිදී Tunchanok Donhomla නමැති 17 හැවිරිදි තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඕස්ට්‍රේලියානු ජාතික Simon Peter Carman, තමා එම තරුණියගෙන් සිදුවීමට ගිය පිහි ඇනුමකින් බේරීමට ආත්ම ආරක්ෂාව උදෙසා ක්‍රියා කළ බව පවසා තිබෙනවා.

මාස දෙකකට ආසන්න කාලයක් Pattaya Remand Prison හි රඳවා සිටින 45 හැවිරිදි Carman, ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ තමා කිසිදු වරදක් නොකළ බවත්, තමාට එල්ල වී ඇති ඝාතනය ඇතුළු චෝදනා හතරටම තමා වරදකරු නොවන බවත්ය.

ජූනි 25 වනදා අලුයම 17 හැවිරිදි "Cake" ලෙස හැඳින්වෙන මෙම තරුණිය තම නවාතැනට පැමිණි බවත්, මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ඇය පිහියක් අතට ගත් බවත් ඔහු පවසනවා. එහිදී ඇයව පාලනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම සිද්ධිය වූ බවත්, පොලිසිය කෙරෙහි විශ්වාසයක් නොතිබූ බැවින් කිසිවෙකුටත් නොදැන්වූ බවත් ඔහු සඳහන් කළා.

නමුත් නිරීක්ෂණ කැමරා දර්ශනවල සටහන් වී ඇත්තේ Carman සහ අදාළ තරුණිය අතින් අල්ලාගෙන ගොඩනැගිල්ලට ඇතුළු වන ආකාරය සහ පසුව ඔහු විශාල ගමන් මල්ලක් මෝටර් සයිකලයක රැගෙන යන ආකාරයයි. ජූනි 27 වනදා දුම්රිය මාර්ගයක් අසල තිබී සොයාගන්නා ලද මෙම ගමන් මල්ල තුළ තිබී අදාළ තරුණියගේ මළ සිරුර හමු වුණා. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඇයගේ හිසට තුවාල සිදු වී ඇති අතර පෙනහැල්ලට ඔක්සිජන් නොලැබීමෙන් සිරුර අක්‍රිය වී තිබෙනවා.

Perth බලා යන ගුවන් යානයකට නැගීමට උත්සාහ කිරීමේදී Suvarnabhumi ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් Carman ට එරෙහිව ඝාතනය, මළ සිරුර සඟවා තැබීම ඇතුළු චෝදනා එල්ල වී ඇති අතර, වරදකරු වුවහොත් ඔහුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමට ඉඩ තිබෙනවා. අගතියට පත් තරුණියගේ පියා ඉල්ලා සිටින්නේ තම දියණියගේ මරණයට උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි.