ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක David Warnerට මධ්‍යම ප්‍රමාණයේ මද්‍යසාර ප්‍රමාණයක් ශරීරගතව රිය පැදවීමේ වරදට ඩොලර් 1,500ක දඩයක් නියම වී තිබෙනවා. පසුගිය Easter දීර්ඝ සති අන්තයේ Sydney හි Maroubra ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂාවකට පෙර වාහනය නැවැත්වූ අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔහුගේ රුධිරයේ මද්‍යසාර මට්ටම 0.104ක් ලෙස සටහන්ව තිබුණා.
Waverley Local Court හමුවේ කරුණු දැක්වූ ඔහුගේ නීතිඥ Barrister Awais Ahmad සඳහන් කළේ, සාදයකට සහභාගී වීමෙන් පසු David Warner ගත් මෙම තීරණය ඉතා නොසැලකිලිමත් සහ අනුවණ ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් ඔහු තමා අතින් සිදුවූ වරද පිළිගෙන රථවාහන වරදකරුවන්ගේ පුනරුත්ථාපන වැඩසටහනද සම්පූර්ණ කර ඇති බැවින්, ඔහුගේ අනාගත වෘත්තීය ජීවිතයට සහ වාණිජමය අවස්ථාවන්ට බලපෑමක් නොවන පරිදි දණ්ඩනයකින් තොරව නිදහස් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා. නමුත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි Sergeant Adrian Walsh අවධාරණය කළේ, ක්‍රිකට් ලෝකය පුරා සිටින දරුවන්ට සහ ජනතාවට ඔහු ආදර්ශමත් චරිතයක් වන බැවින් සහ මීට පෙරද වේග සීමා උල්ලංඝනය කිරීම් 10ක් ඇතුළු රථවාහන වැරදි වාර්තා වී ඇති බැවින් දඬුවමක් නියම කිරීම අත්‍යවශ්‍ය බවයි.
කරුණු සලකා බලමින් Judge Clare Farnan ප්‍රකාශ කළේ, මත්පැන් පානය කර රිය පැදවීම මාර්ග අනතුරු සහ මරණ සඳහා ප්‍රධාන හේතුවක් වන බැවින් මෙවැනි වැරදි සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ අනුව David Warnerට දඩ මුදලට අමතරව වසරක කාලයක් සඳහා තම රථයේ මද්‍යසාර මට්ටම මනින Interlock උපාංගයක් සවිකිරීමටද නියෝග කෙරුණා. නඩු තීන්දුවෙන් පසු ඔහු මාධ්‍ය වෙත කිසිදු අදහස් දැක්වීමක් සිදුකළේ නැහැ.



