Colombia හි ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අලුත් මත්ද්‍රව්‍ය විරෝධී කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නවලට අපැහැදිලි පිළිතුරු ලැබීමත් සමග, ඒ පිළිබඳව දැඩි සංවාදයක් ගොඩනැගී තිබෙනවා.

මෙම අලුත් වැඩසටහන හරහා ලබාගන්නා තොරතුරු, Latin America හි සැකකටයුතු මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවලට එරෙහිව US හමුදාව සිදුකරන මාරාන්තික ප්‍රහාර සඳහා භාවිත විය හැකිදැයි දේශපාලනඥයන් සහ නීතිඥ විශේෂඥයන් ප්‍රශ්න කරනවා. මෙලෙස ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු මත පදනම්ව පිටරටක සිදුකරන "අධිකරණ බලයෙන් පිටත ඝාතන" සඳහා ඕස්ට්‍රේලියාවේ සහය හිමිවීම බරපතල තත්ත්වයක් බවයි Greens සෙනෙට් සභික David Shoebridge පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන  මුදල සහ එහි අරමුණු පිළිබඳ විස්තර මාධ්‍ය වෙත හෙළිදරව් කිරීම AFP ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයින් ජාත්‍යන්තර සබඳතාවලට සහ ඉදිරි මෙහෙයුම්වලට බාධා වන බවයි ඔවුන් පවසන්නේ.

ඕස්ට්‍රේලියාව තුළ කොකේන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, පැසිෆික් කලාපයට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම සඳහා Colombia හි මත්ද්‍රව්‍ය ජාලයන්ට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව AFP ආයතනය අවධාරණය කරනවා.