Coles සුපිරි වෙළඳසැල් ජාලයේ "Down Down" වට්ටම් වැඩසටහන හරහා පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාව මත, එහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckert ගේ වසරක වැටුපෙන් ඩොලර් 400,000 කට වැඩි මුදලක් කැපීමට සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

භාණ්ඩවල මිල ගණන් තාවකාලිකව ඉහළ දමා පසුව නැවත අඩු කර වට්ටම් ලබාදෙන බවට පාරිභෝගිකයන් මුළා කළ බවට Federal Court මගින් තීන්දු කිරීමෙන් පසුව, Leah Weckert වෙත ගෙවීමට තිබූ ඩොලර් 414,000 ක අමතර දීමනාවක් මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Matt Swindells ගේ වැටුපෙන් ද ඩොලර් 82,800 ක් කපා හැර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම නීතිමය ගැටලු මධ්‍යයේ වුවද Coles සමාගම වසර සඳහා ඩොලර් බිලියන 1.09 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, එය  1% ක වර්ධනයකි.

ඉදිරි මාස 12 තුළ මස් සහ කිරි නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට Coles පාලනාධිකාරිය අනතුරු අඟවන අතර, පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා සාධාරණ වට්ටම් ක්‍රමවේද සහ Online සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිනවා.