පළමු වරට නිවසක් මිලදී ගන්නන් සඳහා ඔවුන්ගේ විශ්‍රාම අරමුදල් භාවිත කිරීමට ඉඩදීම කෙරෙහි Coalition පක්ෂයේ අවධානය යොමුව ඇති බව විපක්ෂ නායක ඇන්ගස් ටේලර් පවසනවා.

නිවාස හිඟයට පිළියමක් ලෙස සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනවශ්‍ය නීති රීති ඉවත් කිරීම සහ ජාතික ඉදිකිරීම් නීති සංග්‍රහයේ වෙනස්කම් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Albanese රජය යටතේ නිවාස කුලී ඉහළ යාම, නිවාස ඉදිකිරීම් කඩා වැටීම සහ නිවාස වෙළඳපොළ කෙරෙහි ඇති විශ්වාසය පිරිහීම යන තෙපිටපසුබෑමක් සිදුව ඇති බවට Angus Taylor චෝදනා කරනවා.

One Nation පක්ෂයේ Pauline Hanson ද මෙයට සහය පළ කරමින් කියා සිටියේ ජනතාවගේම මුදල් වන විශ්‍රාම අරමුදල් නිවාස තැන්පතු සහ වෛද්‍ය අවශ්‍යතා සඳහා ලබා ගැනීමට ඉඩ දිය යුතු බවයි. ලිබරල් පක්ෂයේ සෙනෙට් සභික ඇන්ඩෲ බ්‍රැග් මෙලෙස විශ්‍රාම අරමුදල් නිවාස ලබාගැනීම සඳහා යෙදවීමේ ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සමාලෝචනය කරමින් සිටින බව තහවුරු කළා.