ඉහළ යන ඉන්ධන මිල හමුවේ ජනතාවට සහනයක් සැලසීම සඳහා ඉන්ධන බද්ද අඩකින් අඩු කිරීමේ යෝජනාවක් Coalition පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සති දෙකකට වඩා වැඩි කාලයක් ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා පැවතුණහොත්, මෙම බදු සහනය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පරිදි ලබාදිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේ ඉන්ධන බදු අඩු කිරීමට පියවර නොගන්නා බවට රජය ප්‍රකාශ කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක Angus Taylor සඳහන් කළේ ආණ්ඩුව ජනතාවගේ ගැටලු හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති බවයි.
මේ අතර, මෙවැනි බදු සහන මගින් මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ඇතැම් මන්ත්‍රීවරුන් අදහස් පළ කර තිබෙනවා. නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන Nationals පක්ෂයේ සෙනෙට් නායිකා Bridget McKenzie කියා සිටියේ, දුම්කොළ බදු සංශෝධනය කිරීම මගින් මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකි බැවින් ආර්ථිකයට අමතර බරක් සිදු නොවන බවයි.



