Cannabis භාවිත කිරීම හේතුවෙන් පුද්ගලයින්ට මානසික රෝගී තත්ත්වයන් වැළඳීමේ ප්‍රවණතාව වසර ගණනාවකින් ඉක්මන් වන බව ඕස්ට්‍රේලියාවේ University of NSW මගින් සිදුකළ අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

පුද්ගලයින් 71,000 කට අධික සංඛ්‍යාවක් යොදාගනිමින් සිදුකළ මෙම පර්යේෂණයට අනුව, Cannabis භාවිතා කරන පුද්ගලයින්ට අනෙක් අයට වඩා සාමාන්‍යයෙන් වසර දෙකහමාරකට පෙර Psychosis තත්ත්වය මතුවන බව සඳහන්.

එමෙන්ම, වයසින් වැඩි වත්ම මෙම අවදානම තවත් ඉහළ යන අතර, වයස අවුරුදු 30 න් පසුව මෙම රෝගී තත්ත්වයන් මතුවන පුද්ගලයින් අතර Cannabis භාවිත කරන අය සාමාන්‍ය අයට වඩා වසර 6 කටත් වඩා පූර්වයෙන් මෙම රෝගයට ගොදුරු වන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙතෙක් කාලයක් Cannabis භාවිතයේ අතුරු ආබාධ පිළිබඳව වැඩි වශයෙන් යෞවන වයසේ පසුවන්නන් දැනුවත් කළද, වයස අවුරුදු 20 න් පසුව හෝ ඊට වැඩිහිටි වියේදී භාවිත කිරීමද එකසේ අන්තරායකර බව මෙම පර්යේෂණය මගින් තහවුරු කර තිබෙනවා.

මෙමගින් තරුණ පරපුරේ අධ්‍යාපනය, රැකියා මෙන්ම පෞද්ගලික ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වන බැවින්, මෙයින් සිදුවන මානසික සෞඛ්‍ය අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක අවශ්‍යතාවය වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.