නීතිවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් ඕස්ට්‍රේලියා රාජ්‍යයට වසරකට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුවන බවත්, එය මර්දනය කිරීම සඳහා බලධාරීන් මේ වන විට වැටලීම් සහ නීතිමය පියවර දැඩි කර ඇති බවත් වාර්තා වෙනවා.

Brisbane සහ Russell Island අතර ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස Mud crabs අල්ලා South-East Queensland හි නීතිවිරෝධී ලෙස අලෙවි කළ 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට ඩොලර් 10,000 ක දඩයක් නියම කළ අධිකරණය, ඔහු සතු වූ යාත්‍රාවද විනාශ කිරීමට නියෝග කළා. Queensland හි ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව හි අධ්‍යක්ෂ ජෙනරාල් Graeme Bolton මහතා පැවසුවේ, මෙවැනි නීතිවිරෝධී ක්‍රියා මඟින් නීත්‍යානුකූල ධීවරයින්ගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

ගෝලීය වශයෙන් නීතිවිරෝධී ධීවර කටයුතු නිසා නීත්‍යානුකූල ධීවර කර්මාන්තයට වසරකට ඩොලර් බිලියන 23 ක පමණ පාඩුවක් සිදුවන අතර, මෙය පරිසර පද්ධති විනාශයට මෙන්ම මිනිස් ජාවාරම් වැනි නීතිවිරෝධී ක්‍රියාවන්ටද සම්බන්ධ වන බව සඳහන්.

පසුගිය වසරවලදී WA, Northern Territory, Queensland, Victoria සහ NSW යන ප්‍රදේශවල නීතිවිරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් නඩු පැවරීම් සහ පරීක්ෂණ ඉහළ ගොස් තිබෙනවා. විශාල වශයෙන් Abalone වැනි වටිනා සාගර ජීවීන් නීතිවිරෝධී ලෙස අල්ලා වීදි පුරා අලෙවි කිරීමේ ජාවාරම්ද වැටලීමට කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා NSW ප්‍රාන්තය විසින් නීතිවිරෝධී ධීවර ජාවාරම්වල නිරත වන්නන්ට ඩොලර් 44,000 දක්වා දඩ මුදල් ඉහළ නංවමින් නව නීති හඳුන්වා දී ඇති අතර, රාත්‍රී කාලයේ පරීක්ෂණ පැවැත්විය හැකි සූක්ෂම තාක්ෂණික උපකරණද පරීක්ෂකවරුන් වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.