ඕස්ට්‍රේලියාවේ south-west Victoria හි Portland වෙරළ තීරයේ කුරුල්ලන් සිය ගණනක් මියගොස් සහ මියයමින් සිටින අයුරු වාර්තා වනවා. මේ වන විටත් පවතින Bird Flu වෛරසය මීට හේතුවන්නට ඇතැයි සැක කෙරෙන අතර, ප්‍රදේශවාසීන් විසින්ම මියගිය කුරුල්ලන්ගේ සිරුරු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට පෙර ජූලි මාසයේදී ද Portland ප්‍රදේශයෙන් සාද්‍ය Severe H5 Bird Flu ආසාදිතයෙකු හමු වී තිබුණා.

මේ අතර, බලධාරීන්ගේ ප්‍රතිචාරය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි අප්‍රසාදය පළ කරනවා. කුරුල්ලන්ගේ සිරුරු දින ගණනාවක් තිස්සේ වෙරළේ තැනින් තැන පවතින බැවින්, සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ස්වේච්ඡාවෙන්ම එම සිරුරු ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගිය කුරුල්ලන් හේතුවෙන් අනෙකුත් සතුන්ට සහ පක්ෂීන්ටද වෛරසය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව පාරිසරික සංවිධාන පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, Agriculture Victoria සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ මියගිය හෝ රෝගී වූ කුරුල්ලන් ඇල්ලීමෙන් වළකින ලෙසයි. යම් හෙයකින් සිරුරු ඉවත් කිරීමට සිදුවුවහොත්, ආරක්‍ෂිත මුවආවරණ සහ අත්වැසුම් පැළඳ, ද්විත්ව ප්ලාස්ටික් බෑග්වල බහා ඉවත් කරන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.