පවත්නා උද්ධමනය පාලනය කිරීම සඳහා ඉදිරියේදී නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බැංකු දෙකක් වන Commonwealth Bank සහ national bank of Australia අනාවැකි පළ කර තිබෙනවා.

නවතම උද්ධමන දත්ත වාර්තා නිකුත් වීමත් සමග මෙම බැංකු දෙක සිය තීරණය වෙනස් කර ඇති අතර, national bank of Australia පවසන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී පොලී අනුපාත ඉහළ යා හැකි බවයි. එසේම Commonwealth Bank ආයතනය පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මාසයේදී සිදු නොවුවද, නොවැම්බර්මාසය වන විට පොලී අනුපාත ඉහළ නැංවීමට වැඩි ඉඩක් පවතින බවයි.

ජූලි මාසයේ උද්ධමන දත්ත මගින් බලාපොරොත්තු වූවාට වඩා වැඩි උද්ධමනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් RBA ආයතනයට මෙම තීරණය ගැනීමට සිදුවනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනවා. නිවාස පිරිවැය සහ ඉන්ධන මිල ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පොලී අනුපාත ඉහළ යාම කෙටි කාලීන විය හැකි අතර, උද්ධමනය පාලනය වීමත් සමග ඉදිරියේදී නැවතත් පොලී අනුපාත පහත හෙළීමට ඉඩ පවතින බවයි ආර්ථික විශේෂඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.