Victoria ප්‍රාන්තයේ Ballarat ආසන්නයේ Western Highway හිදී සිදුවූ රිය අනතුරකින් 71 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියයාමේ සිද්ධියත් සමඟ, එම ප්‍රාන්තයේ මාර්ගවල පවතින දැඩි අබලන් තත්ත්වය පිළිබඳ ගැටලුව නැවතත් දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයට පෙර මෙම මාර්ග අලුත්වැඩියා කිරීමේ ප්‍රමාදය ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ප්‍රාන්තයේ මාර්ග පද්ධතියේ පවතින තත්ත්වය සතුටුදායක නොවන බව ප්‍රාන්ත අගමැති Ben Carroll ද පිළිගෙන තිබෙනවා. වාර්තාවලට අනුව Victoria හි කිලෝමීටර් 23,000කට වැඩි මාර්ග පද්ධතියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පවතින්නේ ඉතා අබලන් තත්ත්වයකයි.

මේ සඳහා අමතර ඩොලර් මිලියන 352ක මුදලක් වෙන්කරමින් වලගොඩැලි 500,000ක් අලුත්වැඩියා කිරීමට රජය සැලසුම් කර ඇති අතර, විපක්ෂය ඩොලර් බිලියන 5ක ආයෝජනයක් යෝජනා කර තිබෙනවා. කෙසේවෙතත්, තත්ත්වය බරපතල වූ පසු පිළියම් යොදනවාට වඩා, AI සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් මාර්ග පළුදු වන මුල් අවස්ථාවේදීම නඩත්තු කිරීමේ නූතන ක්‍රමවේද වෙත යොමුවන ලෙසයි මාර්ග පද්ධති පිළිබඳ විශේෂඥයින් උපදෙස් දෙන්නේ.