ඕස්ට්‍රේලියාව සහ තායිලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර අපරාධ ජාල මර්දනය කිරීමටත්, ආරක්ෂක සහ වෙළඳ සබඳතා ඉහළ නැංවීමටත් දෙරටේ රාජ්‍ය නායකයින් එකඟතාවකට පැමිණ තිබෙනවා. Canberra හිදී පැවැත්වුණු විශේෂ හමුවකදී ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ තායිලන්ත අගමැති Anutin Charnvirakul විසින් මෙම තීරණ ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම ජනතාව මුදල් වංචාවලට හසුකරගන්නා අන්තර්ජාල ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ජාල මැඩපැවැත්වීම සඳහා දෙරටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එක්ව කටයුතු කිරීමට මෙහිදී තීරණය වුනා. මීට අමතරව, ගුවන් ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට තායිලන්ත අගමැතිවරයා එකඟතාව පළ කිරීම, පවතින ලෝක තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාවේ බලශක්ති ආරක්ෂාවට ලැබුණු ලොකු පිටිවහලක් ලෙස දැක්වෙනවා.

දෙරට අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් පිරීමට ආසන්නව ඇති පසුබිමක, මෙම නව වෙළඳ සහ ආරක්ෂක එකඟතාවන් දෙරටටම ඉතා වැදගත් වනු ඇති බව නායකයින් දෙපළ වැඩිදුරටත් සඳහන් කළා.