ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට පුද්ගලයන්, අගමැතිවරයා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ හඬ ද ඔවුන්ගේ කිසිදු කැමැත්තකින් තොරව AI තාක්ෂණය ඔස්සේ හඬ අනුකරණය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වාර්තා වනවා. මෙලෙස සොරකම් කරන හඬ යොදාගනිමින් කුමන ආකාරයේ නිර්මාණ සිදු කරන්නේ ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත් නැහැ.

Melbourne හි මාධ්‍යවේදී Peter Mitchell සහ Virgin Australia හි හඬ නිරූපිකාවක වන Annie Maynard ඇතුළු පිරිසකගේ හඬ මෙලෙස අවභාවිත කර තිබෙනවා. හඬක් අනුකරණය කිරීමට AI තාක්ෂණයට අවශ්‍ය වන්නේ තත්පර 10 ක ශ්‍රව්‍ය දත්ත පමණක් බවයි හෙළිවන්නේ.

මේ හේතුවෙන් පසුගිය වසරේදී මෙරට හඬ නිරූපණ ශිල්පීන්ගෙන්  61% කට පමණ රැකියා අහිමි වී තිබෙනවා. එමෙන්ම RMIT හි සයිබර් ආරක්ෂණ විශේෂඥ Nalin Arachchilage පෙන්වා දෙන්නේ මේ ඔස්සේ සයිබර් වංචාවන් ද සීඝ්‍රයෙන් ඉහළ යන බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි නීතිරීති පනවන ලෙසයි ඕස්ට්‍රේලියානු හඬ නිරූපණ ශිල්පීන්ගේ සංගමය වෙනුවෙන් Simon Kennedy ඇතුළු ශිල්පීන් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ. යුරෝපයේ මෙන් AI භාවිතයේදී කැමැත්ත ලබාගැනීම සහ ලේබල් කිරීමේ නීති ඕස්ට්‍රේලියාවට ද වහාම හඳුන්වා දිය යුතු බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.