Albanese ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ආන්දෝලනාත්මක දේපළ බදු සංශෝධන හේතුවෙන් ඉදිරියේදී ගෙවල් කුලී ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව නවතම පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙනවා.
මෙම අලුත් සංශෝධන නිසා මීට පෙර අයවැයෙන් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා පස් ගුණයක වැඩිවීමක් සිදු වන බවයි Qaive and Tulipwood Economics (QTE) ආයතනය කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ. ඒ අනුව ඉදිරියේදී ජනතාවට සතියකට අමතරව ඩොලර් 10 ක මුදලක් කුලී සඳහා ගෙවීමට සිදුවනු ඇති.
මෙයට අමතරව 2026-27 සිට 2029-30 දක්වා කාලය තුළදී මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 1.05 කින් පහත වැටෙනු ඇති බවත්, අලුතින් ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 10,700 කින් අඩුවී ක්ෂේත්‍රයේ රැකියා 4,700 ක් අහිමි වනු ඇති බවත් එම වාර්තාවේ සඳහන්.
Master Builders Australia ඇතුළු නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධාන ගණනාවක් එක්ව මෙම වාර්තාව එළිදක්වා ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්ති නිසා ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස හිඟය තවත් උග්‍ර වන බවයි.



