කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ලොව පුරා තරුණ පරම්පරාව අතර ඒ කෙරෙහි දැඩි විරෝධයක් සහ බියක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වනවා.

AI තාක්ෂණය භාවිත නොකළහොත් තමන් පසුපසට ඇද වැටෙනු ඇතැයි සිතා බොහෝ දෙනා එය භාවිත කළද, එමගින් තමන්ගේ ස්වාධීන චින්තනය සහ නිර්මාණශීලීත්වය අඩපණ වන බවයි තරුණ පරපුර පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ Minderoo Foundation මගින් සිදුකළ පර්යේෂණයකට අනුව, මෙරට ජනතාවගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් විශ්වාස කරන්නේ AI තාක්ෂණය පාලනයකින් තොරව වේගයෙන් වර්ධනය වන බවයි.

මීට අමතරව, AI දත්ත මධ්‍යස්ථාන (Data centres) මගින් පරිසරයට සිදුවන බලපෑම සහ අධික ජල පාරිභෝජනය පිළිබඳවද පරිසරවේදීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම, AI තාක්ෂණය භාවිත කරමින් පුද්ගලික ඡායාරූප අවලස්සන හා නීති විරෝධී ලෙස වෙනස් කිරීම (Digital manipulation) වැනි සයිබර් අපරාධ ඉහළ යාම හේතුවෙන් දෙමාපියන් සහ ගුරුවරුන්ද දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. මේ හේතුවෙන් Anthropic, OpenAI සහ Tesla වැනි ප්‍රමුඛ තාක්ෂණික සමාගම්වල ප්‍රධානීන් පවා AI තාක්ෂණයේ වර්ධනය යම් මට්ටමකට මන්දගාමී කළ යුතු බවට අදහස් පළ කර තිබෙනවා.