කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ ප්‍රතිලාභ අත්කර ගනිමින් ඕස්ට්‍රේලියාව AI නිර්මාණකරුවෙකු බවට පත්කිරීමට නම්, දේශීය AI සමාගම් නංවාලීමට සහ දත්ත මධ්‍යස්ථාන සපයන පරිගණක බලය භාවිත කිරීමට නිසි පියවර ගතයුතු බව ප්‍රකාශ වී තිබෙනවා.

සහකාර අමාත්‍ය Andrew Charlton සඳහන් කළේ, ඕස්ට්‍රේලියාව AI තාක්ෂණය විදේශයෙන් ලබාගන්නා රටක් බවට පත් නොවී "නිර්මාණය කරන" රටක් බවට පත්වීමට මෙය තීරණාත්මක සංධිස්ථානයක් බවයි.

දේශීය AI නිෂ්පාදන මිලදී ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් "Buy Australian AI Partnership" නමැති වැඩසටහන ද ආරම්භ කර තිබෙනවා. විශාල දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට ඕස්ට්‍රේලියාව සුදුසු ස්ථානයක් බැවින්, එම පහසුකම් දේශීය ආයතන සහ පර්යේෂකයන් වෙත ලබාදීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ.