ඕස්ට්‍රේලියාවේ පාසල්වල ගුරුවරුන් සහ මව්පියන් අතර ඇතිවන ගැටුම් සහ වාචික මෙන්ම ශාරීරික හිංසනයන් ඉහළ යාම නිසා බොහෝ ගුරුවරුන් වෘත්තිය අත්හැර යාමේ ප්‍රවණතාවයක් මතුව තිබෙනවා.

පසුගිය වසර 15 ඇතුළත ගුරුවරුන්ට එරෙහි හිංසනයන් 80% කින් වැඩි වී ඇති බවයි පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ.

මෙයට විසඳුමක් ලෙස La Trobe University හි Professor Therese Keane සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම විසින් "Fletch" නමැති AI රොබෝවරයෙකු නිර්මාණය කර තිබෙනවා.

මෙම රොබෝවරයා කෝපයට පත් මව්පියන් ලෙස රඟපාමින්, නවක ගුරුවරුන්ට එවැනි අභියෝගාත්මක අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන ආකාරය සහ ගැටුම් සමථයකට පත් කරගන්නා ආකාරය පිළිබඳව පුහුණුව ලබා දෙනවා.

මෙම රොබෝ තාක්‍ෂණික පුහුණුව මගින් නවක ගුරුවරුන්ගේ ආත්මවිශ්වාසය වර්ධනය වන අතර, ඉදිරියේදී ගුරුවරුන් සහ සිසුන් අතර ඇතිවන ගැටුම් නිරාකරණයට මෙන්ම පන්ති කාමර සහකාරයෙකු ලෙසද Fletch යොදා ගැනීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.