අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දත්ත සොරකම් කිරීම් සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ, පුද්ගලික තොරතුරු අන්තර්ජාලගත කිරීම අවම කරන ලෙස සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවනවා. දත්ත ආරක්ෂා කිරීමේ වත්මන් පද්ධතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Curtin University හි සහකාර මහාචාර්ය Mihai Lazarescu සඳහන් කළේ, ප්‍රධාන පෙළේ ආයතන පවා සයිබර් තර්ජනවලට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් සම්පත් හෝ නිසි තාක්ෂණික දැනුමක් සහිත පිරිසක් නොමැතිව අපහසුතාවයට පත්ව ඇති බවයි. AI තාක්ෂණය භාවිතයෙන් ඕස්ට්‍රේලියාවේ Medicare පද්ධතියට පවා සයිබර් ප්‍රහාර එල්ලවීම මීට ආසන්නතම උදාහරණය ලෙස ඔහු පෙන්වා දෙනවා. මීට පෙර Optus, Medibank සහ Origin Energy වැනි ආයතන රැසක දත්ත ද සයිබර් ප්‍රහාරවලට ලක්ව තිබුණා.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන දත්ත අන්තර්ජාලගත කිරීම නතර කර, යළිත් කඩදාසි ලේඛන භාවිතයට යාම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවට Mihai Lazarescu යෝජනා කරනවා.
කෙසේ වෙතත් University of New South Wales හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Rahat Masood පවසන්නේ නැවත කඩදාසි භාවිතයට යාම ප්‍රායෝගික නොවන බවයි. ඊට විසඳුම ලෙස ඇය පෙන්වා දෙන්නේ, සමාගම් මගින් පාරිභෝගිකයින්ගේ අනවශ්‍ය දත්ත රැස්කිරීම සීමා කිරීම සහ දත්ත ආරක්ෂණ නීති තදින් ක්‍රියාත්මක කිරීමයි.
එමෙන්ම, ඕනෑම ආයතනයකට හෝ සමාජ මාධ්‍ය වෙත තමන්ගේ විදේශගමන් බලපත්‍ර පිටපත් හෝ රහස්‍ය තොරතුරු අනවශ්‍ය ලෙස ලබාදීමෙන් වළකින ලෙසත්, AI මෘදුකාංග (ChatGPT වැනි) වෙත සංවේදී දත්ත ඇතුළත් නොකරන ලෙසත් විශේෂඥයින් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.



