ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම පොත් බෙදාහැරීමේ ආයතනයක් වන Alliance Distribution Services සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මෙරට පුස්තකාල සහ ග්‍රන්ථ කතුවරුන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. ADS යනු Hachette Australia සමාගමට අයත් අනුබද්ධ ආයතනයක්.

ජූලි 18 වනදා සිදුවූ බවට සැකකෙරෙන මෙම ප්‍රහාරයත් සමග, ඉදිරියේදී උදාවන නත්තල් උත්සව සමය වෙනුවෙන් පොත්පත් ඇණවුම් කිරීමට තිබූ හැකියාව සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ  කතුවරුන්ගේ අලුත් පොත් වෙළඳපොළට නිකුත් කිරීම සහ ප්‍රචාරණ කටයුතු පවා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් සිදුවූ බලපෑම පිළිබඳව Hachette Australia සමාගම කණගාටුව පල කර සිටින අතර, පද්ධති යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව සඳහන් කළා. කෙසේ වෙතත්, සාමාන්‍ය බෙදාහැරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිවන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට ඔවුන් තවමත් අපොහොසත් වී තිබෙනවා.

සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙය කප්පම් ලබාගැනීමේ අරමුණින් එල්ල කළ 'Ransomware' සයිබර් ප්‍රහාරයක් විය හැකි බවයි. කෘතිම බුද්ධිය වර්ධනය වීමත් සමග ඉදිරියේදී මෙවැනි සයිබර් ප්‍රහාර තවත් ඉහළ යා හැකි බැවින්, ආයතන තම සයිබර් ආරක්ෂණ පද්ධති ප්‍රබලව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කරනවා.