Adelaide හි Brighton Secondary School හි සිසුන් සිව්දෙනෙකුට මීසල්ස් හෙවත් සරම්ප රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට South Australia සෞඛ්‍ය බලධාරීන් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදේශගතව සිට පැමිණි එක් සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම රෝගී තත්ත්වය එම පාසලේම තවත් සිසුන් තිදෙනෙකුට ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. එම සිසුන් ආසාදිත තත්ත්වයෙන් සමාජය තුළ ගැවසී තිබීම හේතුවෙන් Brighton Secondary School, Kmart at Westfield Marion, Morphett Vale Stadium සහ Costco ඇතුළු ස්ථාන කිහිපයක් රෝගයට නිරාවරණය වූ ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ එන්නත් සායනයක් ආරම්භ කර ඇති අතර, මෙතෙක් මීසල්ස් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති පුද්ගලයින්ට රජයේ අරමුදල් මඟින් නොමිලේ එන්නත ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය Blair Boyer ප්‍රකාශ කළේ. උණ, කැස්ස, සොටු දියර ගැලීම සහ ශරීරයේ රතු පැහැති ලප ඇතිවීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වෙනවා.