Adelaide හි දකුණු තදාසන්න ප්‍රදේශයක ධාවනය වූ දුම්රියක් තුළදී 12 හැවිරිදි දැරියකට සිදුකළ ලිංගික අතවරයක් ඇතුළු ළමුන් ඉලක්ක කරගනිමින් සිදුකළ තවත් බරපතල ලිංගික අපරාධ කිහිපයකට වරදකරු වූ Aldinga Beach හි පදිංචි 24 හැවිරිදි Dylan Nicolas Lloyd නමැති තරුණයාට වසර 12 කට වැඩි සිරදඬුවමක් නියම වී තිබෙනවා. 2020 ඔක්තෝබර් සිට 2024 ජනවාරි දක්වා වසර 3 කට වැඩි කාලයක් පුරා අන්තර්ජාලය ඔස්සේ සහ සැබෑ ලෙස ළමුන් තිදෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වී සිටියා.
Supreme Court විනිසුරු Sandi McDonald සඳහන් කළේ, මොහු මීට පෙර ලිංගික උපදේශන වැඩසටහන් සඳහා යොමු කර තිබුණද ඔහුගේ අපරාධකාරී හැසිරීම් කාලයත් සමඟ තවත් වැඩි වී ඇති බවයි. ව්‍යාජ ගිණුමක් හරහා ළමයෙකු ලෙස පෙනී සිටි අයෙකුට ලිංගික පණිවිඩ යැවීම, 10 හැවිරිදි දරුවෙකුට අතවර කිරීම, Pinterest හරහා New Zealand හි 13 හැවිරිදි දැරියකට තර්ජනය කරමින් ලිංගික රූප ලබාගැනීම සහ අවසානයේ ධාවනය වන දුම්රියක් තුළදී 12 හැවිරිදි දැරියකට බරපතල ලෙස අතවර කිරීම මොහු විසින් සිදු කර තිබෙනවා.
මොහුගේ ක්‍රියාකලාපය නිසා වින්දිත දැරියන් සහ ඔවුන්ගේ පවුල් දැඩි මානසික කම්පනයකට ලක්ව ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා. මොහුට සදාකාලික සිරදඬුවමක් ලබාදෙන ලෙස පැමිණිලි පාර්ශවය ඉල්ලා සිටියද, විනිසුරුවරිය විසින් වසර 9 ක සහ මාස 9 ක පූර්ව ඇප හිමිකම් නැති කාලසීමාවක් සහිතව මෙම සිරදඬුවම නියම කළ අතර, ඒ අනුව ඔහුට ඇප ඉල්ලුම් කිරීමට හිමිකම් ලැබෙන්නේ 2033 ඔක්තෝබර් මාසයේදීය.



