ACT රජයට එරෙහිව ගොනුකර ඇති නඩු හේතුවෙන් Territory පාලන ප්‍රදේශයට වසරකට ඩොලර් මිලියන ගණනක දැවැන්ත පාඩුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය නොසැලකිලිමත්කම් සම්බන්ධයෙන් ගෙවීමට සිදුව ඇති වන්දි මුදල් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීම මෙයට ප්‍රධාන හේතුවයි.

අලුතින් නිකුත් වූ අයවැය ලේඛන මගින් හෙළිවන්නේ පසුගිය මුදල් වර්ෂයේදී පමණක් ACT Insurance Authority (ACTIA) ආයතනය වෛද්‍ය නොසැලකිලිමත්කම් නඩු සඳහා ඩොලර් මිලියන 60.7 ක මුදලක් වන්දි සහ නීතිමය ගාස්තු ලෙස ගෙවා ඇති බවයි. මෙය 2023-24 වසරේ පැවති ඩොලර් මිලියන 28.6 ක මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිවීමක්.

මේ අතර පදික මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා සිදුවූ අනතුරුවලට පසුගිය වසරේදී ඩොලර් මිලියන 2.8 කට ආසන්න වන්දියක් ගෙවා ඇති අතර, එය රජය පදික මාර්ග නඩත්තුව සඳහා වැය කළ මුදලින් 38% ක් තරම් ඉහළ අගයක් ගන්නවා.

මේ පිළිබඳව අදහස් දක්වන ස්වාධීන මන්ත්‍රී Thomas Emerson සඳහන් කරන්නේ, වසර දෙකක් ඇතුළත මෙලෙස වන්දි ගෙවීම් දෙගුණයකටත් වඩා වැඩිවීම බරපතල ගැටලුවක් බවයි. රජයේ අකාර්යක්ෂමතාව නිසා ජනතාවට සිදුවන හානියට වැය කරන මෙම කෝටි ගණනක මුදල්, සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතිය ඉහළ නැංවීමට යොමු කළ හැකිව තිබූ බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අමාත්‍ය Marisa Paterson සඳහන් කරන්නේ, මෙම සංඛ්‍යා ලේඛනවලින් සම්පූර්ණ සත්‍යය නිරූපණය නොවන බවයි. පවතින නඩු කටයුතු ප්‍රමාද නොකර ඉක්මනින් විසඳා ගැනීමට රජය කටයුතු කිරීම සහ මෑතකදී විසඳූ විශාල වන්දි නඩු කිහිපයක් නිසා මෙම පිරිවැය ඉහළ ගොස් ඇති බවත්, මෙවැනි වැරදි නැවත සිදුනොවීමට රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.